හැලීගේ වල්ගා තරුව... Halley's Comet...

පෘතුවිය මත ඇවිද යාමට පටන්ගත් කාලයේ සිටම රාත්‍රී අහස අප මුතුන් මිත්තන් කුතුහලයටත්, බයටත් පත්කරන්න සමත් වුනා. රාත්‍රී අහසේ දිස්වුනු හඳ, තාරකා, උල්කා, ධූමකේතු වැනි දෑ තේරුම් ගැනීමට තරම් ඔවුන්ට දැනුමක්, අවබෝදයක් තිබුනේ නැහැ. හඳ, තාරකා වැනි දෑ (ඔවුන්ට ග්‍රහලේක සම්බන්දව දැනුමක් තිබුනේ නැහැ) දිනපතා දර්ශනය වීම නිසා ඒවා සාමාන්‍ය දේවල් ලෙස ඔවුන්ගේ සිත් වල තැම්පත් වුනා. විශාල දැනුමක් නැතත් තවදුරටත් ඒ දේවල් සම්බන්දයෙන් ඔවුන්ට බිය වන්නට හේතුවක් තිබුනේ නැහැ. එතැන් පටන් රාත්‍රී අහස කියවන්නට, තරු රටා දිස්වෙන ආකාරය තමන්ගෙ ප්‍රයෝජනයට යොදගන්නට  අපේ මුතුන් මිත්තන් හෙමිහිට පුරුදු වුනා. 

Halley's comet by Giotto project
NASA/ESA/Giotto Project

නමුත් ධූමකේතු, සාමාන්‍යයෙන් දකින්නට ලැබුන දේවල් නොවන නිසාම ධූමකේතු (වල්ගා තරු) සම්බන්දව අපේ මුතුන් මිත්තන් දැක්වුවෙ සහජයෙන්ම එන බියක්. හිත් තුළ හොල්මන් කරන මේ බය නිසා, යම්කිසි නරක දෙයක් (ස්වභාවික විපත්, මරණ, යුද්ධ) ධූමකේතුවක් දකින්නට ලැබී ටික කලක් ඇතුලත සිදුවුනොත් ඒ ධූමකේතුව විසින් ගෙනා නරක පණිවිඩය විදිහට සමාජගත වුනා. කාලයත් සමඟ ධූමකේතුවක් (වල්ගා තරුවක්) දකින්නට ලැබීම අසුභ ලකුණක් කියන මතය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එනු ලැබුවා. 

මේ විදිහට 1664 වෙනකොට ධූමකේතුවක් කියන්නෙ අවාසනාව ගෙන එන දෙයක් විදිහට මිනිසුන් අතර පැවතිලා තිබුන මතයක්. 1664 සීත කාලයේදි නැවතත් දීප්තිමත් ධූමකේතුවක් දර්ශනය වෙනව. මේත් එක්කම කාලයේදි (1665-1666) මහාමාරිය වසංගතය (Great Plague of London) ලන්ඩන්  නුවර වෙලාගනු ලබනව. 1666 සැප්තැම්බර් මාසයේදි ලන්ඩන් නුවර මහා ගින්නක් (Great Fire of London) ඇතිවෙනව.  මේ දේවල් එක්ක ධූමකේතු, අවාසනාවේ පණිවිඩ ගෙන එන්නෙක් බවට තවත් වරක් තහවුරු වෙනව.

එඩ්මන්ඩ් හැලී නම් තරුණ විද්‍යාඥයා 1682 වර්ෂයේදි නිරීක්ෂණය කරනව තවත් ධූමකේතුවක්. හැලී එකතු කරනව ධූමකේතු සම්බන්දව ඉතිහාසය පුරා තිබෙන වාර්ථා. ක්‍රි.පූ 240 පමණ කාලයේ සිට තාරකා විද්‍යාඥයන් ධූමකේතු නැතිනම් වල්ගාතරු සම්බන්දයෙන් වාර්ථා තබා ඇති අතර ඉතාමත් පැහැදිලි වාර්ථා චීන, බැබිලෝනියානු සහ මධ්‍යකාලීන යූරෝපීයයන් විසින් සටහන් කර තිබෙනවා. ඒවායේ තිබෙන කරුණු විශ්ලේෂණය කරන එඩ්මන්ඩ් හැලී අඳුරගනු ලබනව 1531, 1607 පෘතුවියට දර්ශණය වුනු ධූමකේතු සහ 1682 තමන් නිරීක්ෂණය කල ධූමකේතුව එකම ධූමකේතුවක් කියන කාරණය. තමන්ගෙ මිත්‍රයෙක් වුන අයිසෙක් නිව්ටන්ගෙ  චලිතය, ගුරුත්වාකර්ෂණය සම්බන්ද නියම උපයෝගී කරගනිමින් සිදුකරන ගණනය කිරීම් ඔස්සේ මේ කරුණු ඔප්පු කරමින් 1705 දී හැලී විසින් Synopsis of the Astronomy of Comets පොත ප්‍රකාශයට පත්කරනු ලබනවා. එහි ඔහු විසින් අනාවැකියක් ඉදිරිපත් කරනු ලබනවා වසර 76කට වරක් දර්ශනය වන මෙම ධූමකේතුව 1758 දී නැවත දැකගන්නට ලැබෙන බවට. එඩ්මන්ඩ් හැලී 1758 වන තෙක් ජීවත් නොවුනත්, ඔහු දක්වා තිබුන ආකාරයටම 1758 දි නැවතත් මෙම ධූමකේතුව (වල්ගා තරුව) පෘතුවි වාසීන්ට දැක ගැනීමට ලැබෙනව. එතැන් පටන් (1759) එඩ්මන්ඩ් හැලීට ගෞරවයක් වශයෙන් මෙම වල්ගා තරුව හැලීගේ වල්ගාතරුව (Halley's Comet or Comet Halley) ලෙස නම් කරනු ලබනවා.

Halley's comet orbit
The orbital path of Halley, against the orbits of
Jupiter, Saturn, Uranus, and Neptune
https://commons.wikimedia.org/wiki/File:Halley%27s_Comet_animation.gif
1986 මාර්තු මස 13 දින යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය (European Space Agency) මඟින් ක්‍රියාත්මක කල මිනිසුන් රහිත Giotto යානය මගින් හැලීගේ වල්ගා තරුව න්‍යෂ්ඨියේ සිට 596 km දුරකට ලංව නිරීක්ෂණය කරනු ලබන  අතර මෙය අභ්‍යාවකාශ යානයක් ධූමකේතුවක් ආසන්නයට ගොස් නිරීක්ෂනයන් කල ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනවා.

අනෙක් සෑම ධූමකේතුවක් ලෙසම හැලීගේ වල්ගාතරුව සූර්යයාට ආසන්න වන විට අඩු තාපාංක සහිත වාශ්පශීලී සංයෝග ඌර්ධවපාතනය සිදුවීම ආරම්භ වනවා. මෙහිදී ධූමකේතුවේ න්‍යෂ්ඨිය මගින් වාශ්ප ලෙස පිටකරනු ලබන ජලය, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් සංයෝග සූර්ය සුළං (Solar Wind) හේතුවෙන් සූර්යාට ප්‍රතිවිරුද්ධ දිශාවට තල්ලු කරනු ලබනවා. අපට වල්ගයක් ලෙස දැකගැනීමට ලැබෙන්නේ මෙම වායූන් පිටවීමයි. සමහරවිට මෙය මිලියන 100 km පමණ දික්විය හැකියි.

** 1996 දී පෘතුවියට දර්ශනය වුනු Hyakutake වල්ගා තරුවෙහි වල්ගය සැතපුම් මිලියන 360ක් පමණ දිගකින් යුක්ත වූ බවයි සැලකෙන්නේ.

හැලීගේ (ධූමකේතුව) න්‍යෂ්ඨිය සාපේක්ෂව කුඩා වන අතර එය දිගින් 15 km සහ පළලින් 8 km ක් පමණ වන බවට සැලකෙනව. ස්කන්ධය සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර (2.2 x 1014 kg) , ඝනත්වය 0.6 g/cm3 පමණ වන බව සැලකෙනවා. හැලීගේ න්‍යෂ්ඨියෙන් පිටවන වාශ්පයන්ගෙන් 80%ක් පමණ ජලය බවට නිරීක්ෂණය කර තිබෙනවා.

Halley's comet current location
හැලී සැලකෙන්නේ ඉතාමත් කුඩා කාල පරිච්ඡේදයක් (period) සහිත වල්ගාතරුවක් ලෙසයි. ඉතාමත් ඉහල ඉලිප්සාකාර ගමන් පථයක් ඇති හැලී සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන් ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ අතට ගමන් කිරීම විශේෂ ලක්ෂණයකි.

මේ වන විට (4th Dec 2019) නෙප්චූන්ගේ කක්ෂයට එපිටින් ගමන් කරන හැලීගේ වල්ගා තරුව 2061 - 2062 කාලයේදී නැවතත් පෘතුවි වාසීන්ට දැක ගැනීමට ලැබෙනු ඇත..












Ref
















Comments